Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - අනුබද්ධිත සමිති
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
අනුබද්ධිත සමිති
ගැමි සවිය, සිසු සවිය, මාපිය සවිය, සුව සවිය, දම් සවිය ආදී සමාජ සුභ සාධන සත්කාරයන් රැසක් සිදු කරනු ලබන රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන "පරමධම්ම පදනම" හැරුණු කොට, විහාරස්ථානයට අනුබද්ධිතව තවත් සමිති සමාගම් රැසක් ස්ථාපනය කර තිබේ. මෙම සමිතීන් අරමුණු සහ පරමාර්ථ අනුව වෙනස් වන අතර විවිධත්වයකින්ද යුක්ත වේ.
01. දායක මහා සභාව
මෙම සමිතිය 2009 වසරේ ජූනි මස 14 වන දින වත්මන් විහාරාධිපති අති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රතිසංවිධානය වීමත් සමගම "දායක මහා සභාව" යනුවෙන් නම් කරන ලදී. විහාරස්ථානයේ සිදු වන සෑම පිංකම් කටයුත්තකදීම, සෑම සංවර්ධන වැඩපිළිවලකදීම පෙරමුණ ගන්නා දායක මහා සභාවේ ප්‍රධානතම අරමුණු 6කි.

  1. විහාරස්ථානයේ නඩත්තුව, ආරක්ෂාව, වැඩිදියුණුව සහ ආගමික කටයුතු පවත්වා ගෙන යෑමට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම.

  2. විහාරස්ථ දහම් පාසල ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම.

  3. විහාරස්ථානයේ වැඩ වාසය කරන සංඝයා වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කර, අවශ්‍යතාවන් සොයා බැලීම.

  4. විහාරස්ථානයේ නව ව්‍යාපෘති සහ ප්‍රතිසංස්කරණ නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම.

  5. විහාරස්ථානයේ අපවත් වූ මහා නායක හිමිවරුන්ගේ ගුණානුස්මරණ පිංකම්, වාර්ෂික කඨින පිංකම් ආදී පිංකම් කටයුතු සංවිධානය කිරීම.

  6. විහාරස්ථානය මගින් සිදු කරනු ලබන ජාතික, සංස්කෘතික, සමාජ සේවාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සහ උත්සව සංවිධානය කිරීමට දායකත්වය ලබා දීම.
02. කුලගන සමිතිය
විහාරස්ථානයේ සිදු වන පිංකම් සහ සංවර්ධන කටයුතු වලදී "කුලගන සමිතිය" මගින් ලබා දෙන දායකත්වයද සුළු පටු නොවේ. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය ආරම්භයේ සිටම කුලගන සමිතිය විසින් සක්‍රීය දායකත්වයක් ලබා දෙයි. කුලගන සමිතියට සම්බන්ධවීම සදහා වයස අවුරුදු 16 සම්පූර්ණ කර තිබිය යුතු අතර සම්බන්ධ වූ පසු මහා සභා රැස්වීමට සහභාගී වීම, සමිතියේ වැඩ කටයුතු විමසිලිමත්ව සිදු කිරීම, විහාරයේ ආගමික කටයුතු සදහා සහයෝගය ලබා දීම, සමිතියේ දියුණුව සදහා අලුත් යෝජනා ඉදිරිපත් කිරීම යන ආදී කටයුතු සමුදායක් සිදු කළ යුතු වේ. කුලගන සමිතියේද ප්‍රධානතම අරමුණු 6ක් දක්නට ලැබේ.

  1. විහාරස්ථානයේ සිදු කරනු ලබන ආගමික සහ සාමාජීය කටයුතු සදහා කිසිදු බේදයකින් තොරව පූර්ණ අනුග්‍රහය ලබා දීම.

  2. විහාරස්ථානයේ ගෞරවය රැකෙන පරිදි විනයගරුක ලෙස ක්‍රියා කිරීම.

  3. දෙලොව අභිවෘද්ධිය උදෙසා උසස් ගුණ දහමෙහි යෙදීම.

  4. පසලොස්වක පොහෝ දිනයන්හීදී සිදු කරනු ලබන පිංකම් සංවිධානය කිරීම.

  5. පසලොස්වක පොහෝ දිනයන්හීදී සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සදහා හීල් දානය, දහවල දානය, ගිලන්පස පිළියෙල කිරීම.

  6. සාමාජිකාවන්ගේ අවමංගල්‍ය අවස්ථා වලදී, මහා සභාවෙන් සම්මත කරන ලද මුදලක් වියදම් කර පිරිකර පූජා කිරීම හා සාමූහිකව සහභාගී වීම.

සෑම මසකම පස් වන දින සවස 5.00ට කුලගන සමිතියේ කාරක මහා සභාවේ රැස්වීම පවත්වනු ලබන අතර සෑම පුර පසලොස්වක පොහෝ දිනකම දහවල් කාලයේදී විහාරස්ථානයේ සීල සමාදාන වැඩසටහන අතරතුර කුලගන සමිතියේ කෙටි රැස්වීමක් පවත්වනු ලබයි. සාමාජිකත්වය ලබා ගැනීම සදහා අවශ්‍ය කරන තොරතුරු එම මොහොතේ ලබා ගත හැක.
03. තරුණ බෞද්ධ සමිතිය
රත්තනපිටිය සහ එගොඩවත්ත ප්‍රදේශයන්හී සිටිනා වයස අවුරුදු 18ත් 40ත් අතර බෞද්ධ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් ගොඩ නැගී ඇති මෙම සමිතියේ වැඩ කටයුතු විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ, විහාරස්ථ දායක සභාවේ සහ කුලගන සමිතියේ සභාපතිවරුන්ගේ අධීක්ෂණය සහ අනුශාසනා පරිදි සිදු කරනු ලබයි. අප රටේ ඇතැම් ප්‍රදේශයන්වල විහාරස්ථාන ඇසුරින් ඈත්ව යන තරුණ පිරිස් හට පරමධර්මවර්ධනාරාම විහාරස්ථ "තරුණ බෞද්ධ සමිතිය" අර්ථාන්විත ආදර්ශ සමුදායක් සපයයි. මේ සදහා විහාරස්ථ කාර්යය සාධක සමිතියේද සහයෝගය නොමදව ලැබේ. විහාරස්ථ තරුණ බෞද්ධ සමිතියේ අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

  1. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ සකල විධ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීම.

  2. රත්තනපිටිය, බොරලැස්ගමුව බල ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් කැප වීම.

එමෙන්ම ප්‍රධාන පරමාර්ථ 6කින් සමන්විත වී තිබේ.

  1. ජාතික ආගමික පුනරුදය වෙනුවෙන් යුගයේ අවශ්‍යතා හදුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම.

  2. ජාතික ආගමික පුනරුදයට හේතුවන ක්‍රියාකාරකම් කිරීම සදහා සමිතියේ තීරණවලට අනුව සහයෝගය දැක්වීම.

  3. බලප්‍රදේශයේ අන්‍යෝන්‍යය සුහදතාවය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  4. බලප්‍රදේශයේ අභිවෘද්ධියට හේතුවන රාජ්‍ය, රාජ්‍ය නොවන විවිධ සංවිධානවල ක්‍රියාකාරකම් සදහා සමිතියේ තීරණවලට අනුව දායකත්වය ලබා දීම.

  5. බලප්‍රදේශයේ දුප්පත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ස්ථාපිත කිරීම.

  6. බලප්‍රදේශයේ පොදු ජන අවශ්‍යතා හදුනාගෙන ඒ සදහා ක්‍රියාත්මක වීම.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සමිතියේ ව්‍යවස්ථාවේ, සමිතිය විසින් ඉටු කළ යුතු ක්‍රියාකාරකම් සමුදායක් සටහන් කර තිබේ. එම ක්‍රියාකාරකම් අතරින් පහත සදහන් කර ඇති කටයුතු ප්‍රධාන තැනක් ගනියි.

  1. ජාතික, ආගමික, සංස්කෘතික වටිනාකම්වලින් යුත් විශේෂ දින වලදී ඒහා සම්බන්ධ විවිධ වැඩසටහන් සංවිධානය කිරීම.

  2. බලප්‍රදේශයේ විශේෂ ආබාධිත සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට සෘජුවම මැදිහත් වීම.

  3. 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සා/පෙළ, උ/පෙළ විභාග වලට ඉදිරිපත් වන සිසු සිසුවියන් සදහා සම්මන්ත්‍රනයක් සංවිධානය කිරීම.

  4. බලප්‍රදේශයේ පාරවල්, මංමාවත් පිළිසකර කිරීම, පිරිසිදු කිරීම ආදිය සදහා කටයුතු කිරීම.

  5. බලප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා උදා කිරීම සදහා රැකියා බැංකුවක් පවත්වාගෙන යාම.

  6. බලප්‍රදේශයට වගකියන සියලුම රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවය ගොඩනගා ගැනීම.

  7. සාමාජිකයන්ගේ අන්‍යෝන්‍යය සුහදතාවය තර කර ගනිමින් වාර්ෂිකව චාරිකාවක් සූදානම් කිරීම.

  8. අරමුදල් තර කිරීම සදහා වාර්ෂික කොඩි දිනයක් සංවිධානය කිරීම.
04. දහම් පාසල් සංවර්ධන සමිතිය
"මානිවත්ථ අභික්ඛම" නොහොත් "නොනැවතී ඉදිරියට යන්න" යන ආදර්ශ පාඨයෙන් යුක්ත පරමධර්මවර්ධනාරාම විහාරස්ථ දහම් පාසල් සංවර්ධන සමිතිය, සිරි පඤ්ඤානන්ද දහම් පාසලේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ දෙමාපියන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතුවල නිරත වී සිටින ගුරු මණ්ඩලයෙන් සැදුම්ලත් සමිතියකි. දහම් පාසල් සංවර්ධන සමිතියේ ප්‍රධාන පරමාර්ථ 7කි.

  1. සිරි පඤ්ඤානන්ද දහම් පාසලේ ආරක්ෂාව නඩත්තුව වර්ධනය සලසා දීම.

  2. සිසු දරුදැරියන්ට අවශ්‍ය පහසුකම් නොපමාව ලබා දීම.

  3. දහම් පාසලේ ප්‍රධානාචාර්ය හෙවත් සභාපති ස්වාමීන් වහන්සේ, ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් සංවිධානය කරන විවිධ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට සහය දීම.

  4. ත්‍යාග ප්‍රදානෝත්සවය, කලා මංගල්‍යයන් ආදී විවිධ ව්‍යාපෘති සංවිධානය කිරීමට සහයෝගය ලබා දීම.

  5. ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේට හා ගුරු මණ්ඩලයට සහය අපේක්ෂා කරන අවස්ථාවල දී සහය ලබා දීම.

  6. දහම් පාසලේ කීර්ති නාමය බැබළ වීමට කටයුතු කිරීම.

  7. බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා ඇප කැප වී කටයුතු කිරීම.

ඒ අනුව විවිධ ආගමික ව්‍යාපෘති/තරග/විභාග ආදීය පැවැත්වීමට සහාය ලබා දීම, ශාසනික වර්ධනය සදහා අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දීම සහ සමිතිය විසින් පවරන ලද කටයුතු සාර්ථකව ඉටු කිරීම යන ආදීය දහම් පාසල් සංවර්ධන සමිතියේ සියලුම සාමාජිකයන්ගේ මූලික යුතුකම් ලෙස හැදින්විය හැක.
05. සම්බුද්ධ පූජා සමිතිය
විහාරස්ථානයේ දෛනිකව පවත්වනු ලබන සවස ගිලන්පස බුද්ධ පූජාමය පිංකම සහ සවස ශබ්ද පූජා තේවාව සංවිධානය කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ "සම්බුද්ධ පූජා සමිතිය" වෙතයි.