Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - සිරි පඤ්ඤානන්ද දහම් පාසල
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
සිරි පඤ්ඤානන්ද දහම් පාසල
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය කේන්ද්‍ර කරමින් ප්‍රදේශවාසීන්ගේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කරනු පිණිස දහම් පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ 1942 වර්ෂයේදීය. එකල අප රටේ ආගමික අධ්‍යාපනය ඉතාමත් දුර්වල යුගයක් විය. සිසුන් 14කගේ සහභාගීත්වයෙන්, එවකට විහාරස්ථානයේ විහාරාධිපතිධූරය හොබවන ලද වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම දහම් පාසලට "සිරි සුජාතා දහම් පාසල" යනුවෙන් නම් තබන ලදී. එපමණක් නොව, දහම් පාසලේ ආදර්ශ පාඨය ලෙස "අත්තදීපා විහරථ" (තමාට තමා පහනක් වන්න) යන පාඨය තෝරා ගන්නා ලදී.

සිංහල බෞද්ධකමින් සහ අගනා ගුණ නුවණින් පිරිපුන් මිනිසෙකු නිර්මාණය කිරීම, සිරි සුජාතා දහම් පාසලේ මූලික අරමුණ විය. වර්ෂයෙන් වර්ෂය දහම් පාසල දියුණු වූ අතර අවට ගම් වලින්ද දරුවන් ඇතුළත් වීම වැඩි විය. ඉන්පසුව 1953 වසරේ රටේ ඇතිවූ දේශපාලන කැළඹීම හේතුවෙන් දහම් පාසල අතරමග ඇන සිටියේ ය. වසර 5ක නිහැඩියාවකින් පසුව 1958 වසරේදී නැවතත් දහම් පාසල ආරම්භ කෙරණි. පේමානන්ද හිමියන්ගේ අපවත් වීමෙන් පසුව 1978 වසරේ විහාරාධිපතිධූරයට පත් අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමියන්ද දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ අතර 2007 වසරේදී සිදු වූ උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව, උන්වහන්සේට උපහාර පිණිස වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව, "සිරි පඤ්ඤානන්ද දහම් පාසල" ලෙස දහම් පාසල නම් කරන ලදී. ඒත් සමගම දහම් පාසලේ ආදර්ශ පාඨය "ධම්මං චරේ සුචරිතං" (ධර්මයේ හැසිරෙන්නා දුෂ්චරිතයේ නොහැසිරෙයි) ලෙස වෙනස් විය.

විහාරස්ථානයේ ඉපැරණි දහම් පාසල, ආවාසගෙය ආසන්නයේ පිහිටා තිබේ. පසු කලෙක දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ඉඩ අවකාශය සම්බන්ධව ඇති වූ ගැටළුවට පිළියම් ලෙස 4 සිට 11 වසර දක්වා වූ සිසුන්ගේ පන්ති විහාරස්ථානයේ ධර්ම ශාලාව වෙත ගෙන යන ලදී. ආරම්භයේ සිටම වසරින් වසර දහම් පාසල දියුණු වූ අතර එදා මෙන්ම අදද දක්ෂ ගිහි පැවිදි ගුරු මඩුල්ලක් කැප වීමෙන් ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි. වර්තමානය වන විට දහම් පාසලේ 200කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර රත්තණපිටිය, එගොඩවත්ත, බොරලැස්ගමුව යන ප්‍රදේශ තුනෙන්ම දහම් පාසල වෙත ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැමිණෙමින් සිටියි. විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදීද පරමධර්මවර්ධනාරාමය සහ දහම් පාසල අතර සම්බන්ධතාව වැඩි දියුණු කරමින් කථික, විවාද, සැදැහැ ගීත ගායනා ආදී භාහිර අංශයන්ගෙන්ද විශාල ප්‍රගතියක් මේ වන විට අත් කරගෙන තිබේ.
...

අපගේ දැක්ම

...

අපගේ මෙහෙවර

...

අපගේ අරමුණු

...

අපගේ ව්‍යුහය

දහම් පාසල් ගීතය