Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - ගමන් මග
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
ගමන් මග
  • කොළඹ නගරයත් බොරලැස්ගමුව නගරයත් අතර දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝ මීටර 13කි. මෙම පූජා භූමියට කොළඹ සිට පිවිසෙන්නේ නම් කොළඹ - හොරණ මාර්ගයෙන් පැමිණ, රත්තණපිටිය හංදිය පසු කළ යුතුවේ. ඉන්පසුව ඉදිරියෙන් හමු වන ජී.එච්.පෙරේරා මාවතෙන් හැරී (පාරේ වම් පස ඇති "පීසා හට්" අවන්හල අසල), මාවත දිගේ මීටර් 550ක් පමණ ඉදිරියට ගොස්, වමට හැරී මද දුරක් යන විට මෙම විහාරස්ථානයට පිවිසිය හැක. බොරලැස්ගමුව නගරය හරහා පිවිසෙන්නේ නම්, පිල්ලෑව වෙල් යාය පසු කරනවාත් සමගම මාර්ගයේ දකුණු පෙදෙසෙන් ජී.එච්.පෙරේරා මාවතට ළගා විය හැක.

  • එසේත් නොමැති නම් කොළඹ - රත්නපුර මාර්ගයේ පැමිණ, දෙල්කද හංදියෙන් දකුණට හැරී මද දුරක් ඉදිරියට ගොස්, වම් පස ඇති ශ්‍රී පේමානන්ද මාවතෙන් හැරී (රත්තණපිටිය මංසන්ධියට පෙර) මීටර් 950ක් පමණ ගොස්, පන්සල පාර ඔස්සේ විහාරස්ථානයට ළගා විය හැක.

  • නැතහොත් විජේරාම මංසන්ධියෙන් හැරී සෝරත මාවත ඔස්සේ පැමිණ (විශ්වවිද්‍යාල පාර), ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසු කරනවාත් සමගම මාර්ගයේ දකුණු දිශාවෙන් පිහිටි ශ්‍රී පේමානන්ද මාවතෙන් හැරිය යුතු වන අතර, මීටර් 750ක් පමණ ඉදිරියටම ගමන් කර, ඉදිරියෙන් හමු වන පන්සල පාරෙන් හැරිය යුතු වේ. විජේරාම පෙදෙසට පැමිණීම සදහාද කොළඹ - රත්නපුර මාර්ගය භාවිතා කළ හැක.
  • ආශ්‍රිත රජමහා විහාර
    ...

    සුනෙත්‍රාදේවි රජමහා විහාරය

    1412 වර්ෂයේ රාජ්‍යත්වයට පත් කෝට්ටේ රාජධානියේ ප්‍රථම පාලකයා වූ 6 වන පැරකුම්බා නිරිදු විසින් තම මෑණියන් වූ සුනෙත්‍රාදේවි බිසව සිහි කිරීම සදහා 1451 වර්ෂයේදී නිර්මාණය කරන ලද විහාරස්ථානයකි. මෙම විහාරස්ථානය අතීතයේ අක්කර 378ක භූමි භාගයකට හිමිකම් කියා ඇති අතර එවකට බෙල්ලන්විල රජමහා විහාරයේ සහ සුනෙත්‍රාදේවි පිරිවෙනෙහි පාලන මධ්‍යස්ථානය විය. එවකට කෝට්ටේ රජමහා විහාරයට පමණක් දෙවැනි වූ මෙම රජමහා විහාරයේ අද වන විට ශේෂ වී පවතින්නේ 18 වන සියවසේ මුල් භාගය තුළ නිර්මාණය වූ ඉදි කිරීම් වේ. 1582 වර්ෂයේදී සිදු වන පෘතුගීසී ආක්‍රමණයත් සමගම මෙම විහාරස්ථානය මුළුමනින්ම විනාශයට පත් වන අතර විහාරස්ථානයේ ගොඩනැගිලි වලට යෙදූ ගල් සහ ගඩොල් කැබලි පෘතුගීසීන් විසින් ඔවුන්ගේ කාර්යාල සහ දේවස්ථාන නිර්මාණය සදහා යොදා ගැනීමට රැගෙන ගිය බව ඉපැරණි වාර්තාවල සදහන් වේ.

    සුනෙත්‍රාදේවි රජමහා විහාරයට පිවිසීම සදහා, පැපිලියාන මංසන්ධියෙන් හැරී "පැපිලියාන පාර" ඔස්සේ මද දුරක් යා යුතුය. මෙම විහාර පරිශ්‍රයට රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 2.6කි.

    ...

    සුනෙත්‍රාදේවි මහා පිරිවෙන

    කෝට්ටේ යුගය "සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය" ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ "සමස්ථ සංස්කෘතියේම ස්වර්ණමය යුගය" ලෙස පත් කරමිනි. සාහිත්‍යයේ දියුණුවට ප්‍රධානතම සාධකය අධ්‍යාපනයයි. කෝට්ටේ යුගයේ අධ්‍යාපනය ඉහළ මට්ටමක තිබූ බවට, 6 වන පැරකුම්බා නිරිදු විසින් නිර්මාණය කළ, පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ අධීක්ෂණය යටතේ පාලනය වූ, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන සාක්ෂි දරයි. එකල මෙම පිරිවෙන වර්තමාන විශ්වවිද්‍යාල මට්ටමේ පැවතී ඇත. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, නක්ෂත්‍රය, වෛද්‍ය විද්‍යාව ආදී ඉතා සංකීර්ණ විෂය මාලාවන් රාශියක් මෙහි ඇතුළත්ව තිබී ඇත. මෙම පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලය සේම, මෙයින් බිහි වූ උගතුන් අතර විශ්ව කීර්තියට පත් ගිහි පැවිදි උගතුන් පවා සිට ඇත. 1582 වර්ෂයේදී සිදු වන පෘතුගීසී ආක්‍රමණයත් සමගම මෙම විහාරස්ථානයද මුළුමනින්ම විනාශයට පත් විය. 20 වන සියවසේ මුල් භාගයේදී දෙහිවල මුහුදු තීරය ආසන්නයේ තිබී සොයා ගත් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරයේ සෙල්ලිපිය, මෙම පිරිවෙනෙහි තැන්පත් කර තිබේ.

    පැපිලියාන මංසන්ධියේ පිහිටා ඇති මෙම විහාර පරිශ්‍රයට රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 2.3කි.

    ...

    බෙල්ලන්විල රජමහා විහාරය

    බෙල්ලන්විල රජමහා විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය තෙක් දිව යයි. මෙම විහාරස්ථානයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ, අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගෙන් හට ගත් දෙතිස් ඵල බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් ලෙස හදුනා ගෙන ඇත. බෙල්ලන්විල රජමහා විහාරය සම්බන්ධව අනුරාධපුර යුගයේ සිට ගම්පල යුගය දක්වා තොරතුරු අප්‍රකට වන අතර කෝට්ටේ යුගයේ 6 වෙනි පැරකුම්බා නිරිදුන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුනු බවත්, එවකට පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය යටතේ පාලනය වූ බවත් ඉතිහාසයේ සදහන් වේ. කෝට්ටේ යුගයේ එල්ල වූ පෘතුගීසී ආක්‍රමණයත් සමගම මෙම විහාරස්ථානයද මුළුමනින්ම විනාශයට පත් වන අතර බෝධීන් වහන්සේ පමණක් ආරක්ෂා විය. පෘතුගීසීන්ගේ තාඩන පීඩන හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව උඩරටට සංක්‍රමණය වූ අතර, කාලයත් සමගම මෙම ප්‍රදේශය මහා ඝන වනාන්තරයකින් වට වූ ජන ශූන්‍ය කලාපයක් බවට පරිවර්තනය විය. ඉන්පසුව 1850 වර්ෂයේදී අත්තිඩිය විහාරවාසී තෙන්ගොඩගෙදර හිමියන් විසින් මහා ඝන වනාන්තරයකින් වට වූ බෝධීන් වහන්සේ සහ මෙම පූජා භූමිය නැවත සොයා ගනු ලැබිනි.

    මෙම විහාර පරිශ්‍රයට රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 2කි.

    ...

    පරමධම්මනිවේස පිරිවෙන

    බොරලැස්ගමුව නගරයේ ඇඹිල්ලවත්ත පෙදෙසේ නිර්මාණය කර ඇති ඓතිහාසික පරමධම්මනිවේස පිරිවෙන් විහාරස්ථානය, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ නිර්මාණය වූ ඉපැරණි පිරිවෙන් විහාරස්ථානයක් ලෙස සළකනු ලබයි. කෝට්ටේ සාහිත්‍ය ප්‍රබෝධය ඇති කිරීමට සහ අධ්‍යාපනය පෝෂණය කිරීමට ඇඹිල්ලවත්ත පරමධම්මනිවේස පිරිවෙනින්ද අතිමහත් දායකත්වයක් ලැබෙන්නට ඇත. මෙම විහාරයද, අනෙකුත් විහාර සේම පෘතුගීසී ආක්‍රමණයට හසු විය.

    පරමධම්මනිවේස පිරිවෙන් විහාර පරිශ්‍රයට රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 2.4කි.

    ...

    පිල්ලෑව බෝ සමිදුන්

    බොරලැස්ගමුව නගරයට යාබදව පිහිටි අසිරිමත් පිල්ලෑව වෙල් යාය ආසන්නයේ රෝපණය කර ඇති, අත්තිඩිය කුරුළු අභය භූමියට මායිම්ව ඇති පිල්ලෑව බෝ සමිදුන්ගේ නිශ්චිත ඉතිහාස කතාව මෙතෙක් සොයා ගෙන නොමැත. මෙය කෝට්ටේ යුගයේ පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය යටතේ පාලනය වූ විහාර පරිශ්‍රයක් බවටත්, අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හට ගත් සමසතළිස් බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් බවටත්, අතීතයේ බෙල්ලන්විල රජමහා විහාරයට අයත්ව තිබූ භූමි භාගයක් බවටත් අප්‍රසිද්ධ මත කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

    මෙම විහාර පරිශ්‍රයට රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 1කි.

    ...

    විජයාරාම රජමහා විහාරය

    විජේරාම මංසන්ධියේ පිහිටි විජේරාම මාවත ඔස්සේ ගමන් කළ විට හමුවන ශ්‍රී විජයාරාම රජමහා විහාරයේ මූලාරම්භයද කෝට්ටේ යුගය දක්වා දිව යයි. කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ නිර්මාණය වූ මෙම විහාරයටද පෘතුගීසී ආක්‍රමණයෙන් ආරක්ෂා වීමට කිසිදු අවස්ථාවක් ලැබී නැත. මෙම විහාරස්ථානය පුරාවටම දක්නට ඇති විනාශ වී ගිය, ගිනි ගෙන දැවී ගිය ගල් කණු සහ ගල් පුවරු ඒ සදහා සාක්ෂි සාධක සපයයි.

    ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම විහාරස්ථානයට රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ සිට ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර 1.8කි.