Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - පැරණි ඡායාරූප
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
ගැලරිය - පැරණි ඡායාරූප
01. මහා සංඝ පීතෘවරු
02. පැරණි දේවාල මන්දිරය
රත්තණපිටිය එගොඩවත්ත ජනතාව පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ කුදුමහත් අවශ්‍යතාවන් සපුරාලමින් හද බැතින් තෙරුවන් නමදින නමුත් ඔවුහු දෙවියන්ගේ ආශිර්වාදය පැතුවෝය. ඔවුන්ගේ අවශ්‍යතාව මස්තකප්‍රාත කර ගැනීමට දායක වන්නට සිතූ අපවත් වී වදාළ විහාරාධිපති අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පේමානන්ද මාහිමියන් වහන්සේ, 1948න් පසුව බෝධීන් වහන්සේ අසලම දේවාල මන්දිරයක් ඉදි කිරීමට පියවර ගන්නා ලදී. වත්මන් විහාරාධිපති රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි 2012ක් වූ සැප්තැම්බර් මස 27 දින වන විට මෙම ඉපැරණි දේවාල මන්දිරය ප්‍රතිසංස්කරණය සහ ප්‍රති නිර්මාණය කිරීමට ලක් වන අතර 2014ක්වූ මාර්තු මස 12 වන දින වන විට සියලු වැඩ කටයුතු නිමාවට පත් කර බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සදහා නැවත විවෘත කරන ලදී.
03. පැරණි වස්ගෙය
රත්තණපිටිය නිවැසි දොන් සුවාරිස් රාමනායක උප පොලිස් මුලාදෑනි මහතා ස්වකීය ඉඩමක ගෙයක් ඉදි කොට, භික්ෂූන් වහන්සේ නමක් වස් සමාදන් කරවාගෙන, සිව්පසයෙන් උපස්ථාන කොට, මහා සංඝ රත්නය විෂයෙහි කඨින චීවර පූජාවක් පවත්වා පිං සිදු කර ගැනීමේ පිරිසිදු චේතනාවෙන් වස් එළඹීමේ දිනයට මසක් පමණ කල් තිබියදී, බොරලැස්ගමුවේ පරමධම්මනිවේස පිරිවෙනට පැමිණ විහාරාධිපති පූජ්‍ය ලෙනදොර ශ්‍රී ධර්මරක්ඛිත නායක හිමියන්ට තම අදහස දන්වා සිටියේය. භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන ලෙස කරන ලද ආරාධනය උන්වහන්සේ ඉතා කාරූණිකව පිළිගත් අතර සිය අදහස මුදුන් පැමිණීමෙන් අතිශය සන්තුෂ්ටියට පත් සුවාරිස් රාමනායක මහතා පසුදිනම මෙම ආවාස ගෘහය සෑදීමේ කටයුතු ආරම්භ කරන ලදී.

මාසයක් තුළ එම ගෘහ මන්දිරය සාදා නිමාවට පත් කොට ඇසළ පුර පසළොස්වක පොහෝ දින (1927.07.14) සවස් භාගයක පූර්වෝක්ත පරිවේණස්ථානයට පැමිණ ලෙනදොර ධර්මරක්ඛිත මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය ආචාර්ය අති පූජ්‍ය දන්කන්දේ උපතිස්සාභිධාන මහ ස්වාමින්ද්‍රයාණන් වහන්සේව ඉතා ගෞරවයෙන් වැඩම කරවාගෙන විත් මෙම අභිනව ආවාස ගෘහයේ වස් සමාදන් කරවා, සිව්පසයෙන් උපස්ථාන කර ඔක්තෝබර් මස 30 වන ඉරු දින දීවා කාලයෙහි කඨින චීවර පූජාවක් සිදු කරන ලදී. එතැන් පටන් අති පූජ්‍ය දන්කන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පමණක් වස් විසූ නිවසෙහි වැඩ විසූ සේක. ඉන් අනතුරුව නාගොල්ල නීග්‍රෝධාරාමාධිපති මාතලේ දිශාවේ ප්‍රධාන සංඝ නායක ධුරන්ධර දන්කන්දේ සිරි සරණතිස්ස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රිය ශිෂ්‍ය වූ වෙරළුගස්තැන්නේ පේමානන්ද සාමනේරයන් වහන්සේ මෙම ආවාස ගෘහයෙහි වැඩ සිටීම සදහා 1929 වසරේ ජූනි මස 07 වන දින පැමිණ තිබේ.

මේ අතර එවකට පැවති "ආවාස දාන සමිතිය" මගින් රත්තණපිටියේ "දොන් සුවාරිස් රාළහාමි" මහතාගෙම වෙනත් ඉඩමක් මිළට ගෙන නව විහාරස්ථානයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. 1931 ජනවාරි මස 26 වන දිනට යෙදුනු ශුභ නැකතට අනුව කණු සිටවා මෙම ඉඩම වෙන් කරන ලද අතර 1931 මාර්තු මස 02 වන දින මෙහි ඔප්පුව ලියන ලදී. එම වසරේම ජූලි මස 27 වන දින තාවකාලිකව තනන ලද ආවාසගෙට ගෙවදීමේ උත්සවය පැවැත්වුණු අතර එය ලෙනදොර ධම්මරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒත් සමගම දන්කන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වෙරළුගස්තැන්නේ පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සුවාරිස් රාළහාමි මහතාගේ මෙම වස්ගෙය අතහැර විහාරස්ථානයේ ස්ථිර පදිංචිය සදහා වැඩම කළ සේක.
04. පැරණි සලපතල මළුව
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ සුදෝ සුදු දාගැබ් වහන්සේට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. මෙම දාගැබ් වහන්සේ රත්තණපිටියේ සහ රත්තණපිටිය අවට ගම්වාසීන්ගේ ආධාර ඇතිව, "ශ්‍රී සුජාතා උපාසිකා සමිතිය" මගින් 1956 වසරේ මැයි මස 11 වන දින නිර්මාණය වූවකි. 1954 වසරේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කිරීම සදහා මුල් ගල තබා ඇති අතර පරිත්‍යාගශීලී පිංවතුන්ගේ ආධාරද ඇතිව ඉක්මනින් චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ නිමවූ බැවින් 1955 වසරේ කොත් පැළදවීමේ සහ ශාරීරික ධාතූන් තැන්පත් කිරීමේ කටයුතු සිදු කෙරුනු බව වාර්තාවල සටහන් වී තිබේ.

ඉපැරණි දාගැබ් වහන්සේ අභියස ගෞතම බුද්ධ ප්‍රතිමාවක්ද, දාගැබ් වහන්සේ වටා අටවිසි බුදුවරුන්ගේ ප්‍රතිමාවන්ද තැන්පත් කොට තිබූ අතර සලපතල මළුවෙහි ගල් අතුරා තිබිණි.
07. පැරණි වාහල්කඩ
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ පිවිසුම අභියස නිර්මාණය කර ඇති ඉතාමත් සරල, එනමුත් ප්‍රතාපවත් වාහල්කඩෙහි ඉතිහාස කතාව ආරම්භවන්නේ 1993 වසරේ සිටය. 2015 වසරේ අග භාගයේ වාහල්කඩෙහි ඉහළ කොටස නැවතත් ප්‍රතිසංස්කරණය කරන ලදී.
05. පැරණි බෝ මළුව
1933 වසරේ ඔක්තෝබර් මස 23 වන දින විහාරස්ථානයේ මුල් බෝධි ප්‍රාකාරය බැදීම සදහා මුල් ගල තබන ලදී. එම වසරේම දෙසැම්බර් මස 29 වන දින වන විට බෝධි ප්‍රාකාරයේ වැඩ නිමාවට පත් වන අතර 1934 වසරේ ජනවාරි මස 23 වන දිනට යෙදුනු දුරුතු පුර පසළොස්වක පොහෝ දින ප්‍රදේශවාසීන්ගේ සාධු නාද මධ්‍යයේ මල් පහන් පූජාකොට විවෘත කරන ලදී.

මල් පහන් පිදීමට සුදුසු මල් ආසනයක්ද සහිතව විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය 1984 වසරේ ජූනි මස 18 වන දින ප්‍රතිසංස්කරණය විය. ඉන් වසර 30කට පසු, විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවතත් ප්‍රතිසංස්කරණය කෙරෙන බෝධි මණ්ඩපය සහ ප්‍රාකාරය, අපවත් වී වදාළ අති පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල මහා නායක හිමියන් අතින් 2004 වසරේ පෙබරවාරි මස 05 වන දින විවෘත කෙරිණි. එවකට බෝධීන් වහන්සේ ඉදිරිපස සහ පසුපස සමාධි සුවයෙන් වැඩ හිදිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් තැන්පත් කර තිබිණි. එමෙන්ම වන්දනාමාන කටයුතු කිරීමට මෙන්ම, භාවනා කටයුතු කිරීම සදහාද ඉඩ පහසුකම් සලසා තිබිණි.
06. නව බෝ මළුව
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව, 2016 වසරේදී විහාරස්ථානයේ බෝධීන් වහන්සේ සහිත බෝ මළුව නැවතත් ප්‍රතිසංස්කරණයකට ලක් විය. නව ප්‍රතිසංස්කරණයේදී අටවිසි බුදුවරුන් සදහා වෙන් කරන ලද බුදු කුටි විසි අටක්, දර්ශනීය රන් වැටක්, උඩ මළුවක්, පහන් දැල්වීමට ප්‍රදේශයක් සහ ප්‍රාකාරයක් එක්විය. පහත ඡායාරූපයෙන් දිස්වන්නෙ, එවකට ප්‍රතිසංස්කරණය වෙමින් පැවති පරමධර්මවර්ධනාරාම විහාරස්ථ නව බෝ මළුවේ ස්වරූපයයි.
...

විහාර අංග

...

උත්සව සහ වැඩසටහන්