Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - විහාර අංග
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
ගැලරිය - විහාර අංග
01. දාගැබ් වහන්සේ
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ සුදෝ සුදු දාගැබ් වහන්සේට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. මෙම දාගැබ් වහන්සේ රත්තණපිටියේ සහ රත්තණපිටිය අවට ගම්වාසීන්ගේ ආධාර ඇතිව, "ශ්‍රී සුජාතා උපාසිකා සමිතිය" මගින් 1956 වසරේ මැයි මස 11 වන දින නිර්මාණය වූවකි. 1954 වසරේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි කිරීම සදහා මුල් ගල තබා ඇති අතර පරිත්‍යාගශීලී පිංවතුන්ගේ ආධාරද ඇතිව ඉක්මනින් චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ නිමවූ බැවින් 1955 වසරේ කොත් පැළදවීමේ සහ ශාරීරික ධාතූන් තැන්පත් කිරීමේ කටයුතු සිදු කෙරුනු බව වාර්තාවල සටහන් වී තිබේ.

වසර ගණනාවකට පසුව වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි 2015 වසරේ ඔක්තෝබර් මස ප්‍රතිසංස්කරණය කෙරෙන දාගැබ් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රි ධර්ම සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ සුරතින් 2015 නොවැම්බර් මස 01 වන දින විවෘත කරන ලදී. නව දාගැබ් වහන්සේ වැලි ඇතිරූ සලපතල මළුවක් මත වැඩ සිටින අතර සතර දිශාවෙහි බුද්ධ මන්දිර සතරකින් යුක්ත වේ.
02. බෝධීන් වහන්සේ
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ සෑම එළිමහන් පිංකම් කටයුත්තක්ම සිදුවන්නේ බෝධීන් වහන්සේ රෝපණය කර ඇති බෝ මළුව තුළයි. 1933 වසරේ ඔක්තෝබර් මස 23 වන දින විහාරස්ථානයේ මුල් බෝධි ප්‍රාකාරය බැදීම සදහා මුල් ගල තබන ලදී. එම වසරේම දෙසැම්බර් මස 29 වන දින වන විට බෝධි ප්‍රාකාරයේ වැඩ නිමාවට පත් වන අතර 1934 වසරේ ජනවාරි මස 23 වන දිනට යෙදුනු දුරුතු පුර පසළොස්වක පොහෝ දින ප්‍රදේශවාසීන්ගේ සාධු නාද මධ්‍යයේ මල් පහන් පූජාකොට විවෘත කරන ලදී.

මල් පහන් පිදීමට සුදුසු මල් ආසනයක්ද සහිතව විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය 1984 වසරේ ජූනි මස 18 වන දින ප්‍රතිසංස්කරණය විය. ඉන් වසර 30කට පසු, විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවතත් ප්‍රතිසංස්කරණය කෙරෙන බෝධි මණ්ඩපය සහ ප්‍රාකාරය, අපවත් වී වදාළ අති පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල මහා නායක හිමියන් අතින් 2004 වසරේ පෙබරවාරි මස 05 වන දින විවෘත කෙරිණි. එවකට බෝධීන් වහන්සේ ඉදිරිපස සහ පසුපස සමාධි සුවයෙන් වැඩ හිදිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් තැන්පත් කර තිබිණි. එමෙන්ම වන්දනාමාන කටයුතු කිරීමට මෙන්ම, භාවනා කටයුතු කිරීම සදහාද ඉඩ පහසුකම් සලසා තිබිණි.

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව, 2016 වසරේදී විහාරස්ථානයේ බෝධීන් වහන්සේ සහිත බෝ මළුව නැවතත් ප්‍රතිසංස්කරණයකට ලක් විය. නව ප්‍රතිසංස්කරණයේදී අටවිසි බුදුවරුන් සදහා වෙන් කරන ලද බුදු කුටි විසි අටක්, දර්ශනීය රන් වැටක්, උඩ මළුවක්, පහන් දැල්වීමට ප්‍රදේශයක් සහ ප්‍රාකාරයක් එක්විය. ප්‍රතිසංස්කරණය කරන ලද බෝධි පරිශ්‍රය, 2017 වසරේ ඔක්තෝබර් මස 01 වන ඉරිදා දින සවස 6.00ට මහා විහාර වංශික, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ධූරන්ධර අතිගෞරවාර්හ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අනුනායක ධූරන්ධර බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අතිගෞරවාර්හ බෙල්ලන්විල විමලරතනාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා ප්‍රදේශවාසී දායක දායිකා පිංවතුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරෙනි.
03. බුද්ධ මන්දිරය
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ නිර්මාණ කටයුතු අවසන් වන්නේ 1955 වසරේ ජූනි මස 12 වන අතර මෙම මන්දිරය ප්‍රමාණයෙන් කුඩා සහ සරල වූවත්, ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර ඇත. මෙම බුද්ධ මන්දිරය සදහා 1931 වසරේ දෙසැම්බර් මස 31 වන දින මුල් ගල තබා වැඩ කටයුතු ආරම්භ කළ බව ඉතිහාසය පවසයි. මරුන් පරාජය කළ බවට මහ පොළොව පවා සාක්ෂි දරන බව සංඛේතවත් කරමින් භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මන්දිරය තුළ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස දෙනෙත් යොමු කරන සැනින්, සෑම කෙනෙකුගේම සිත් සතන් සමාධි ගත කිරීමට සමත් වේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේට දෙපසින් සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා ද්විත්වයක්ද, ප්‍රතිමා ද්විත්වයට පිටුපසින් තවත් භික්ෂූන් වහන්සේලා දෙනමකගේ සිතුවම් කරන ලද රූප ද්විත්වයක්ද දැකිය හැක. බුද්ධ ප්‍රතිමා වහන්සේට දෙපසින් ඇති නැගෙනහිර සහ බටහිර බිත්තීන් ප්‍රධාන වශයෙන් තීරු දෙකකට බෙදා, පහළ කොටසේ බුදුරජාණන් වහන්සේ වෙත නමස්කාර කරන මහා සංඝයා වහන්සේලාද, ඉහළ කොටසේ බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ද සිත්තම් කර තිබේ. ඒ අතර අනීමිසලෝචන පූජාව, රුවන් සක්මන, රුවන් ගෙයෙහි වැඩ සිටීම, මුචලින්ද නාග දරණය, රාජායතනයේ කිරිපළු රුක මුල වැඩ සිටීම, මාර දූවරු පරාජය කිරීම ආදිය මනාව සිතුවම් කර තිබේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේට ඉදිරිපස බිත්තියේ පහළ කොටසේ, බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටින භික්ෂූන් වහන්සේලා යුගල් දෙකක්ද, ඉහළ කොටසේ අජපාල වෘක්ෂ මූලයේ වැඩ සිටීම සහ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව නොහොත් ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවද සිතුවමට ලක් කර තිබේ. වියන් තලයේ බුදුරජාණන් වහන්සේගේ වේලාපත්කඩය සිත්තමට නගා ඇති අතර සෑම බිත්තියකම හිඩැස්, සාම්ප්‍රදායික ඉපැරණි සිංහල සැරසිලි මෝස්තර වලින් අලංකෘත කර ඇත.
04. දේවාල මන්දිරය
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ඉපැරණි දේවාල මන්දිර පරිශ්‍රය වර්තමාන විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ මෙහෙයවීමෙන්, ප්‍රදේශවාසී දායක පිංවතුන්ගේ ආධාර ඇතිව මෑතකදී විධිමත් සහ ක්‍රමවත් ලෙස ප්‍රතිසංස්කරණය කොට, වැඩ නිමකර 2014ක්වූ මැදින් මස 12 වන දින පෙ.ව 10.05ට යෙදුනු ශුභ මොහොතින් බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සුරතින් විවෘත කෙරිණි. දේවාල මන්දිරය තුළ උපුල්වන්, කතරගම, සුමන සමන්, පත්තිනි, දැඩිමුණ්ඩ, ගම්භාර, විභීෂණ, සරස්වතී, ඊෂ්වර ආදී දෙවි දේවතාවුන් උදෙසා කුඩා මන්දිර වෙන් කර ඇත. සෑම දිනකම සවස 5.00 සිට රාත්‍රී 9.30 වන තෙක් දේවාල පරිශ්‍රය බැතිමතුන්ගේ භාර හාර, ශාන්තිකර්ම සහ පුද පූජා කටයුතු උදෙසා විවෘතව තබන අතර සෑම මසකම පළමු සෙනසුරාදා දින රාත්‍රී 7.00ට විශේෂ මුරුතැන් පූජාවක් සිදු කෙරේ.
05. ධර්ම ශාලාව
විහාරස්ථානයේ වර්තමාන ධර්ම ශාලාව (ශ්‍රී පේමානන්ද මාහිමි ගුණානුස්මරණ ධර්ම ශාලාව), අපවත් වී වදාළ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් 1991 වසරේදී නිර්මාණය වූ ගොඩනැගිල්ලකි. සෑම පොහෝ දිනකම පවත්වනු ලබන ශීල සමාදාන වැඩසටහනේදී ප්‍රදේශ තුනකින් පැමිණෙන උවසු උවැසියන් විශාල පිරිසක්, මෙම ශාලාව යට හිදිමින් අටසිල් දසසිල් සමාදන් වෙයි. විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන පිංකම් සහ උත්සව කටයුතු වලට මෙන්ම, විහාරස්ථ දහම් පාසලේ 4 සිට 11 වසර දක්වා සිටිනා සිසුන්ගේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමටද මෙම ශාලාව යොදා ගනියි. ඊට අමතරව විහාරස්ථානය යටතේ තිබෙන දායක සභාව, තරුණ බෞද්ධ සමිතිය, සිරි සුජාතා කුලගන සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය, පරමධම්ම සමාජ සේවා පදනම ආදී සමිතිවල සහ ගමේ අනෙකුත් සමිතිවල රැස්වීම් කටයුතු පවත්වන්නේද මෙම ශාලාව තුළය. ශාලාව කෙලවර කුඩා ප්‍රමාණයේ වේදිකාවක්ද, වේදිකාව දෙපස කුඩා කාමර දෙකක්ද නිර්මාණය කර තිබේ. මින් එක් කාමරයක් දහම් පාසලේ ප්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කෙරේ. ඉරු දින දහම් අධ්‍යාපනයේ නිරත වන දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ පොහෝ දිනයන්වල සිල් සමාදන්වන උවසු උවැසියන්ගේ ආහාරවේල් පිළියෙල කිරීම සදහා ප්‍රතිනිර්මාණය කර ඇති කුඩා මුළුතැන්ගෙය, ධර්ම ශාලාවට පිටුපසින් සම්බන්ධ කර තිබේ.

තාවකාලික ධර්ම ශාලාවක් සදහා 1931 වසරේ ජූලි 27 වන දින මුල් ගල් තබා වැඩ කටයුතු ආරම්භ කළ බවත්, නැවතත් 1939 වසරේ මාර්තු 19 වන දින දෙමහල් ධර්ම ශාලාවක් සදහා මුල්ගල් තබා අත්තිවාරම් දමා ලී දඩු සපයා යුහුසුළුව වැඩ ආරම්භ කළ බවත් පරමධර්මවර්ධනාරාම විහාරස්ථ ඉතිහාස කතාවේ සදහන් වේ. නමුත් ඒ සියල්ලක්ම අසාර්ථක විය. ඒ අනුව කලින් පිළියෙල කර තිබූ අත්තිවාරම ගලවා විහාර ගෙයි ඉදිරිපස නැවතත් ධර්ම ශාලාවක් නිර්මාණය වී ඇති අතර එම වසරේම ජූනි මස 28 වන දින ධර්ම ශාලා ප්‍රවේශ මංගල්‍යක් ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වූ බව දැක්වේ.
06. දහම් පාසල
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය කේන්ද්‍ර කරමින් ප්‍රදේශවාසීන්ගේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කරනු පිණිස දහම් පාසලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ඇති වන්නේ 1942 වර්ෂයේදීය. එකල අප රටේ ආගමික අධ්‍යාපනය ඉතාමත් දුර්වල යුගයක් විය. සිසුන් 14කගේ සහභාගීත්වයෙන්, එවකට විහාරස්ථානයේ විහාරාධිපතිධූරය හොබවන ලද වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම දහම් පාසල අද වන විට ඉතා දියුණු තත්වයක පවතියි. විහාරස්ථානයේ ඉපැරණි දහම් පාසල් ගොඩනැගිල්ල, ආවාසගෙය ආසන්නයේ පිහිටා තිබෙනු දක්නට ඇත. පසු කලෙක දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් ඉඩ අවකාශය සම්බන්ධව ඇති වූ ගැටළුවට පිළියම් ලෙස 4 සිට 11 වසර දක්වා වූ සිසුන්ගේ පන්ති විහාරස්ථානයේ ධර්ම ශාලාව වෙත ගෙන යන ලදී.
07. ආවාසගෙය
එවකට පැවති "ආවාස දාන සමිතිය" මගින් රත්තණපිටියේ "දොන් සුවාරිස් රාළහාමි" මහතාගෙම වෙනත් ඉඩමක් මිළට ගෙන මෙම විහාරස්ථානය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. 1931 ජනවාරි මස 26 වන දිනට යෙදුනු ශුභ නැකතට අනුව කණු සිටවා මෙම ඉඩම වෙන් කරන ලද අතර 1931 මාර්තු මස 02 වන දින මෙහි ඔප්පුව ලියන ලදී. එම වසරේම ජූලි මස 27 වන දින තාවකාලිකව තනන ලද ආවාසගෙට ගෙවදීමේ උත්සවය පැවැත්වුණු අතර එය ලෙනදොර ධම්මරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒත් සමගම දන්කන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වෙරළුගස්තැන්නේ පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සුවාරිස් රාළහාමි මහතාගේ වස්ගෙය අතහැර මෙහි ස්ථිර පදිංචිය සදහා වැඩම කළ සේක. 1931 ජූලි මස 30 වන දින මෙම ආරාමයෙහි එගොඩවත්ත රත්තණපිටිය දායක පිංවතුන්ගේ ආරාධනය පරිදි ප්‍රථම වස් විසීම එම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම විසින් සිදු කරනු ලැබීය.

1936 මැයි 22 දින දහවල් 1.04ට යෙදෙනු සුභ මොහොතින් මෙම ආවාසගෙය මනරම් ලෙස සෑදීම සදහා මුල් අත්තිවාරම් පස් පිඩැල්ල කප්පවන ලද අතර එම වසරේම ජූනි මස බොරලැස්ගමුවේ පරමධම්මනිවේස පරිවේනාධිපති පූජ්‍ය ලෙනදොර ධම්මරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ සුරතින් ආරාම ගොඩනැගිල්ල සදහා මුල් ගල් තැබීමක් අප්‍රසිද්ධව සිදු විය. එම වසරේම ජූලි මස 05 වන දින බෞද්ධ ප්‍රභූන් 8 දෙනෙකු ලවා උත්සවාකාරයෙන් මුල් ගල් තබ්බවන ලද අතර මෙදින ආධාර වශයෙන් රු.140ක මුදලක් ලැබී ඇත. 1943 වසරේ නොවැම්බර් මස 05 වන දින වැඩ නිමවන ලද මෙම අභිනව සංඝාවාසය සිරි සුජාතා උපාසිකා සමිතිය මගින් දානපතීන්ගේ ආධාර ඇතිව, සතර දිගින් වඩිනා මහා සංඝයාගේ ප්‍රයෝජනය පිණිස 30 නමක් පමණ මහා සංඝයා ඉදිරියෙහි සගසතු කොට පූජා කරන ලදී.
08. මල් දන්සල් කුටිය
විහාරස්ථ දහම් පාසලේ සිසු දුවා දරුවන්ගේ මූලිකත්වයෙන්, ඇතැම් පොහෝ දිනයන්හීදී සිදු කෙරෙන "මල් දන්සල" පැවැත්වීම සදහා මෙම කුඩා කුටිය භාවිතා වේ. විහාරස්ථානයට පිවිසෙන ස්ථානයේ නිර්මාණය කර ඇති මෙම කුටියේ වැඩ නිමවා ඇත්තේ 1961 වසරේ ජූනි මස 27 වෙනිදාය. අතීතයේ ගමේ තරුණ පිරිස විහාරස්ථානයේ ඇසුරින් ඈත්ව සිටින බව දුටු විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක හිමියන් 1961 වසරේ ජූනි මස 27 වන දින "පුෂ්පදාන ළමා සමිතිය" ආරම්භ කර ඔවුන්ව විහාරස්ථානයට නතු කර ගැනීමට සමත් වූ බවත්, එම සමිතිය ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස "මල් දන්සල" ආරම්භ වූ බවත් වාර්තාවල දැක්වේ.
09. පිලියෙල කිරීම් කුටිය
බුද්ධ පූජාවන් පිළියෙල කිරීම සදහා විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් මෙම කුටිය භාවිතා කරනු ලබයි. සෑම පොහෝ දිනකම සවස් කාලය තුළ මෙම ස්ථානයෙන් මල්, පහන්, සුවද දුම්, ගිලන්පස රැගත් කුඩා පෙරහැරක් ත්‍රිවිධ චෛත්‍යය කරා ගමන් අරඹයි. එදිනට ගාන්ඨාව නාද කිරීමට පෙර, බුද්ධ පූජාවන් තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ වන බව සන්නිවේදනය කිරීම සදහා, කුටිය තුළ ඇති කුඩා සීනුව නාද කිරීමක් සිදු වේ. මෙම කුටිය තුළ පූජාවන් සිද්ධ කිරීමට අවශ්‍ය කරන සියලු දෑ, මැනවින් ගබඩා කර තිබේ.
10. ගන්ඨා කුළුන
බුද්ධ මන්දිරය පිටුපසට වන්නට නිර්මාණය කර තිබෙන මෙම කුළුනෙහි ඇති කුඩා ගන්ඨාව, සෑම දිනකම සවස 6.30ට ගිලන්පස බුද්ධ පූජාව තබන විට නාද කෙරේ. ඉපැරණි ගන්ඨා කුළුණ නිර්මාණය කර තිබූ ස්ථානයේම නිමවා ඇති මෙම ගන්ඨා කුළුනේ ඉතිහාස කතාව ආරම්භ වන්නේ 2008 වසරේ නොවැම්බර් මස 08 වන දින සිටයි. 1942 වර්ෂයේ අප්‍රේල් මස 05 වන දින ජපන් ජාතිකයන් විසින් අප රටට බෝම්බ දැමීම සිදු විය. මෙම කාල වකවානුව තුළ විහාරස්ථානය සමීපයෙහි යුද හමුදා කදවුරක් ඉංග්‍රීසි ජාතිකයන් විසින් පිහිටුවා තිබිණි. එම කදවුරේ ආරක්ෂාව සදහා පැමිණ සිටි සිංහල බෞද්ධ පිරිසක් එකට එක්ව, විහාරස්ථානයේ මුල් ඝණ්ඨා කුළුන සවිකර දුන් බව විහාරස්ථානයේ පැරණි වාර්තාවල දැක්වේ.
11. දෝවන ස්ථානය
විහාරස්ථානයේ දෝවන ස්ථානය විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුදැනුම යටතේ, 2012 වසරේ ජූලි 30 වන දින නිර්මාණය විය. මෙය බැතිමතුන් හට පූජා සහ වන්දනාමාන කටයුතු සදහා අවශ්‍ය කරන පැන්/ජලය ලබා ගැනීමට ඉදි කර ඇති අතර ජල කරාම හයකින් සමන්විත වේ. මීට පෙර විහාරස්ථානයේ බැතිමතුන් පැන්/ජලය සපයා ගත්තේ අසල ඇති ළිදෙනි.
12. දොළොස් මහේ පහන
දොළොස් මහේ පහන ස්ථාපිත කර ඇති, අෂ්ඨාශ්‍රාකාර හැඩයක් සහිත මෙම කුටියේ පිටත ඇති නිර්මාණ සැලැස්ම හේතුවෙන් විහාර භූමියේ පරිසරයට විචිත්‍රත්වයක් සහ වර්ණවත් බවක් එක් වී ඇත.
13. විහාර භූමිය
පරමධර්මවර්ධනාරාම විහාරස්ථ භූමිය සොබා සෞන්දර්යෙන් ඝහන වූ ස්ථානයකි. විහාරස්ථානයේ බැලූ බැලූ තැන දක්නට ලැබෙන රූස්ස ගස් වලින් හමා එන, නැවුම් සුළං රැලි විහාරස්ථානයට පැමිණෙන්නන්ගේ ගතට මෙන්ම මනසටත් සිසිලසක් එක් කරයි. විහාර භූමිය තුළ මාදම්, සපු, ගම්මාළු, දඹ, කෝමාරිකා, ගෝවින්ද, විෂ්ණුක්‍රාන්ති, ඉගුරු, රත්කිරිවැල්, අශෝක, දේවදාර, වැල්මී, රණවරා, කොබෝනීල, හාතවාරිය, තිප්පිලි, ප්‍රාණජීව, අක්කපාන, සැවැන්දරා, පළු, කළුවර, නා, තැඹිලි, අඹ, දෙල් වැනි පැළෑටි සහ ගස් වැල් වර්ග දහස් ගණනක් රෝපණය කර තිබේ.
14. වාහල්කඩ
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ පිවිසුම අභියස නිර්මාණය කර ඇති ඉතාමත් සරල, එනමුත් ප්‍රතාපවත් වාහල්කඩෙහි ඉතිහාස කතාව ආරම්භවන්නේ 1993 වසරේ සිටය. 2015 වසරේ අග භාගයේ වාහල්කඩෙහි ඉහළ කොටස නැවතත් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මුල් වාහල්කඩෙහි ආකෘතිය එලෙසින්ම සුරැකීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
...

උත්සව සහ වැඩසටහන්

...

පැරණි ඡායාරූප