Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - ප්‍රජා සේවා
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
ප්‍රජා සේවා
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ "පරමධම්ම පදනම" ඔස්සේ සමාජ සුභ සාධන සත්කාරයන් රැසක් සිදු කරනු ලබයි. මෙම පදනමෙන් සිදු කෙරෙන සමාජ සත්කාරක සේවාව ප්‍රධාන වශයෙන් කොටස් 5කින් සමන්විත වේ.
01. ගැමි සවිය
සීග්‍රයෙන් සංවර්ධනය වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයෙහි ලා ප්‍රමුඛත්වය යොමුවී ඇත්තේ යටිතල පහසුකම් සහිත භෞතික ප්‍රවර්ධන ක්‍රියාදාමයන් කෙරෙහිය. නමුත් රටක සමස්ථ සංවර්ධනය මානව සම්පත් ප්‍රවර්ධනයකින් තොරව බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා රටේ භෞතික සම්පත් සංවර්ධනයට සමගාමීව මානව සම්පත් සංවර්ධනය තුළින් ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කිරීම "ගැමි සවිය" සත්කාරක සේවාවේ මුඛ්‍ය අරමුණයි. ජනතාව තුළ යහපත් චර්යා රටාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් සහ වැඩමුළු සංවිධානය කිරීමට සමගාමීව ස්වයං රැකියා පහසුකම්, ආර්ථික තත්වය නගා සිටුවීම සහ අවශ්‍ය අවස්ථාවලදී මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ආධාර සැපයීම පදනමේ අපේක්ෂාවයි.
02. සිසු සවිය
"අද දරුවා හෙට බිහිවන රටේ භාරකරුවාය" යන ආදර්ශය මත "සිසු සවිය" සත්කාරක සේවාව හුදෙක් පාසල් සිසුන්ගේ විෂය මූලික දැනුම, හැකියාවන්, දක්ෂතාවයන් සහ ආකල්ප වර්ධනය කිරීමේ අරමුණු කරගත් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සමගම ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට මූල්‍යමය ආධාර, ද්‍රව්‍යමය ආධාර සහ උපදේශන සේවා සැපයීම පදනමේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය සෑම වසරකම දෙසැම්බර් මස තුළ සිදු කරනු ලබයි. මේ සදහා පින් සිතින් ශක්තියක් වෙමින් අප වෙත පහත සදහන් පරිත්‍යාගයන් හැකි පමණ කළ හැකියි.

* මාසික ශිෂ්‍යාධාරය - රු.1000කි

* ද්‍රව්‍යමය ආධාර -
  • පිටු 80 අභ්‍යාස පොත්
  • පිටු 120 අභ්‍යාස පොත්
  • පිටු 160 අභ්‍යාස පොත්
  • පිටු 200 අභ්‍යාස පොත්
  • සී.ආර්.පොත් (C42)
  • සී.ආර්.පොත් (CR4)
  • ස්ටේප්ලර්ස්
  • වතුර බෝතල්
  • චිත්‍ර පොත්
  • ළමා කතන්දර පොත්
  • බෝල්පොයින්ට් පෑන්
  • පැන්සල්
  • මකන කෑලි
  • කවකටු පෙට්ටි
  • පාසල් බෑග්
03. මාපිය සවිය
මෙකී මාපිය දෙපල සැමදා රටකට සම්පතකි. එසේම මහත් වෙර දරා මහන්සියෙන් අප පෝෂණය කරන, නිති රැකවරණය සපයමින්, සිව්බඹ විහරණයෙන්, නිති සෙනෙහසින් ක්‍රියා කරන බෝසත් ගුණයද අමිලය. ඔබේ නිවසේ පූජනීයත්වයට පත් මාපියන් නීරෝගීව රැකබලා ගැනීම රටක සමාජයක වගකීමකි. යුතුකමකි. බුද්ධ පූජාවකි. මෙය එක ලෙස වැදගත් බව අවබෝධ කරගත් අප පදනම අවශ්‍යතාවයන් හදුනා ගනිමින් වෛද්‍ය සේවාවන්, පෝෂ්‍යදායී ආහාර පාන, බෙහෙත් වර්ග සහ උපදේශන සේවාවන් තුළින් මාපිය තෘප්තිය ඉහළ නැංවීම "මාපිය සවිය" ප්‍රජා සත්කාරයේ අපේක්ෂාවයි.
04. සුව සවිය
සකල සත්වයාගේ උතුම්ම ලාභය නීරෝගීකම ලෙස වදාල උතුම් බුදු වදන පසක් කරගත් අප පදනම ජනතාවගේ යහපත් සෞඛ්‍යය පුරුදු ඔප්නංවමින්, වැඩි දියුණු කරමින් මිථ්‍යා සෞඛ්‍යය මත වලින් මිදුනු, යහපත් සෞඛ්‍යමත් නීරෝගී සමාජයක් බිහි කරලීම "සුව සවිය" තුළින් අපේක්ෂා කෙරේ. ආබාධිත හෝ උපකාර අවශ්‍ය ආර්ථික අපහසුතා ඇති ජන කොටස් වෙත විශේෂ අවධානය යොමු කරන අප පදනම ඔවුන් වෙත වෛද්‍යාධාර, මුදලින්, ද්‍රව්‍යමය වශයෙන් හෝ උපකරණ ආදීයෙන් උපකාර කිරීම "සුව සවිය" තුළින් අපේක්ෂා කෙරේ.
01. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට අලකොලමඩ ප්‍රදේශයේ සිදු කරනු ලැබූ ඇස් කණ්ණාඩි බෙදා දීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන
02. මහරගම පිළිකා රෝහල වෙත කුලගන සමිතියේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබූ වියළි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන
05. දම් සවිය
සැලෙන මනස නිසලව තබා ගැනීම අපහසු කරුණක් විය හැකියි. ලෝකය සමග ඉදිරියට යනවිට නවීන තාක්ෂණික දියුණුව අවශ්‍ය වූවද අනවශ්‍ය දෑ අනවබෝධයෙන් ජීවිතයට ළගාකර ගත යුතු නොවේ. ඒ අනවබෝධය නිසා මානසික ඒකග්‍රතාවය වෙනුවට මනසේ අවුල් ඇතිවනවාට සැකයක් නැත. මෙම සැලෙන මනස නිසලව තබා ගැනීමට බොදුනුවන් හැම විටම කල්පනා කරන්නේ නම් එය ලෞකික දියුණුවටත් පරලොව සුගතියටත් හේතුවනු ඒකාන්තය. ඒ බව මැනවින් වටහාගත් අප පදනම සැලෙන මනස තැන්පත් කිරීමටත්, සන්සුන් කිරීමටත්, මානසික අසහනයෙන් සහ මානසික ආතතියෙන් තොර සමාජයක් බිහිකරනු වස් විවිධ ආගමික වැඩසටහන් සහ පොතපත සම්පාදනය කිරීමට "දම් සවිය" තුළින් අපේක්ෂා කෙරේ.