Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - ඉතිහාසය
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
ඉතිහාසය
රත්තණපිටිය නිවැසි දොන් සුවාරිස් රාමනායක උප පොලිස් මුලාදෑනි මහතා ස්වකීය ඉඩමක ගෙයක් ඉදි කොට, භික්ෂූන් වහන්සේ නමක් වස් සමාදන් කරවාගෙන, සිව්පසයෙන් උපස්ථාන කොට, මහා සංඝ රත්නය විෂයෙහි කඨින චීවර පූජාවක් පවත්වා පිං සිදු කර ගැනීමේ පිරිසිදු චේතනාවෙන් වස් එළඹීමේ දිනයට මසක් පමණ කල් තිබියදී, බොරලැස්ගමුවේ පරමධම්මනිවේස පිරිවෙනට පැමිණ විහාරාධිපති පූජ්‍ය ලෙනදොර ශ්‍රී ධර්මරක්ඛිත නායක හිමියන්ට තම අදහස දන්වා සිටියේය. භික්ෂූන් වහන්සේ නමක් ලබා දෙන ලෙස කරන ලද ආරාධනය උන්වහන්සේ ඉතා කාරූණිකව පිළිගත් අතර සිය අදහස මුදුන් පැමිණීමෙන් අතිශය සන්තුෂ්ටියට පත් සුවාරිස් රාමනායක මහතා පසුදිනම මෙම ආවාස ගෘහය සෑදීමේ කටයුතු ආරම්භ කරන ලදී.

මාසයක් තුළ එම ගෘහ මන්දිරය සාදා නිමාවට පත් කොට ඇසළ පුර පසළොස්වක පොහෝ දින (1927.07.14) සවස් භාගයක පූර්වෝක්ත පරිවේණස්ථානයට පැමිණ ලෙනදොර ධර්මරක්ඛිත මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය ආචාර්ය අති පූජ්‍ය දන්කන්දේ උපතිස්සාභිධාන මහ ස්වාමින්ද්‍රයාණන් වහන්සේව ඉතා ගෞරවයෙන් වැඩම කරවාගෙන විත් මෙම අභිනව ආවාස ගෘහයේ වස් සමාදන් කරවා, සිව්පසයෙන් උපස්ථාන කර ඔක්තෝබර් මස 30 වන ඉරු දින දීවා කාලයෙහි කඨින චීවර පූජාවක් සිදු කරන ලදී. එතැන් පටන් අති පූජ්‍ය දන්කන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පමණක් වස් විසූ නිවසෙහි වැඩ විසූ සේක. ඉන් අනතුරුව නාගොල්ල නීග්‍රෝධාරාමාධිපති මාතලේ දිශාවේ ප්‍රධාන සංඝ නායක ධුරන්ධර දන්කන්දේ සිරි සරණතිස්ස මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රිය ශිෂ්‍ය වූ වෙරළුගස්තැන්නේ පේමානන්ද සාමනේරයන් වහන්සේ මෙම ආවාස ගෘහයෙහි වැඩ සිටීම සදහා 1929 වසරේ ජූනි මස 07 වන දින පැමිණ තිබේ.

මේ අතර එවකට පැවති "ආවාස දාන සමිතිය" මගින් රත්තණපිටියේ "දොන් සුවාරිස් රාළහාමි" මහතාගෙම වෙනත් ඉඩමක් මිළට ගෙන නව විහාරස්ථානයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. 1931 ජනවාරි මස 26 වන දිනට යෙදුනු ශුභ නැකතට අනුව කණු සිටවා මෙම ඉඩම වෙන් කරන ලද අතර 1931 මාර්තු මස 02 වන දින මෙහි ඔප්පුව ලියන ලදී. එම වසරේම ජූලි මස 27 වන දින තාවකාලිකව තනන ලද ආවාසගෙට ගෙවදීමේ උත්සවය පැවැත්වුණු අතර එය ලෙනදොර ධම්මරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒත් සමගම දන්කන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ වෙරළුගස්තැන්නේ පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සුවාරිස් රාළහාමි මහතාගේ වස්ගෙය අතහැර මෙහි ස්ථිර පදිංචිය සදහා වැඩම කළ සේක. 1931 ජූලි මස 30 වන දින මෙම ආරාමයෙහි එගොඩවත්ත රත්තණපිටිය දායක පිංවතුන්ගේ ආරාධනය පරිදි ප්‍රථම වස් විසීම එම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම විසින් සිදු කරනු ලැබීය. 1932 ජනවාරි මස 17 වන දින රාත්‍රී 7.00ට පමණ මෙම ආරාමයට රැස්වූ දායක සභාවේ සියලු දෙනාගේ කැමැත්තෙන් විහාරයට "පරමධර්මවර්ධනාරාමය" යන නම තබන ලදී.

1941 අගෝස්තු මස 08 වන දින සිදුවූ අති පූජ්‍ය දන්කන්දේ උපතිස්ස හිමියන්ගේ අපවත් වීමෙන් පසු තත් විහාරයේ විහාරාධිපති වූයේ වෙරළුගස්තැන්නේ පේමානන්ද නාහිමියන් වහන්සේය. උන්වහන්සේ මෙම විහාරය සකලංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කොට දායකකාරකාදීන් ශෝ සයුරේ ගිල්වා 1978 පෙබරවාරි 11 දින අපවත් වී වදාළහ. ඉන් පසුව විහාරස්ථානයේ විහාරාධිපති බවට පත්වූයේ අස්මදාචාර්ය පූජ්‍යපාද වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේය. විහාරංග නවීකරණය කරමින් ජාතික වූත් ශාසනික වූත් කටයුතු රැසක නිරතව වැඩ සිටි උන්වහන්සේ හදිසියේම 2007ක් වූ නොවැම්බර් මස 24 වන දින අපවත් වී වදාළහ. උන්වහන්සේගෙන් පසුව පූජ්‍ය රත්තොට සීලවංස හිමියන් වත්මන් විහාරාධිපති පදවිය හොබවමින් විහාරස්ථානයේ දියුණුව සදහා ඇපකැපව වැඩ සිටියි.
...

අති පූජ්‍ය දන්කන්දේ
උපතිස්ස මාහිමි

(1929 - 1941)

...

අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පේමානන්ද මාහිමි

(1941 - 1978)

...

අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද මාහිමි

(1978 - 2007)

...

වත්මන් විහාරාධිපති අති පූජ්‍ය රත්තොට සීලවංස හිමි

(2007 සිට)